අභිධර්මාර්ථ සංග්රෙහයේ මින් අනතුරු ව විස්තර කොට ඇති කොටස වන්නේ අහේතුක සිත් 18 ය. එම සිත්වලට අහේතුක කිය හැඳින්වීමට විශේෂිත කාරණය වන්නේ, හේතු නාමයෙන් වදාරා ඇති ආකාරයට සිත් කොටස් 02 කට බෙදේ. එම කොටස් දෙක නම් අහේතුක සිත් හා සහේතුක සිත් වශයෙන්. ඉන් අදහස් වන්නේ හේතු නාමයෙන් වදාරා තිබෙන්නා වූ ලෝභ, ද්වේශ, මෝහ යනුවෙන් දක්වා ඇති අකුසල් හේතූන් ද, අලෝභ, අද්වේශ, අමෝහ වශයෙන් දක්වා ඇති කුසල හේතු හෝ අව්යාහකෘත හේතු වශයෙන් දක්වා ඇති හේතූන් 06 අතුරින් යම් කිසිවක් යම් සිතක ලැබේ නම් එම සිත දක්වා ඇත්තේ සහේතුක සිත් වශයෙනි. හේතු නාමයෙන් වදාළ චෛතසික 06 ක් ඇත. එම 06 අතුරින් කවර හේතුවක් සමඟ හෝ යෙදෙන සිත් වේ නම් ඊට සහේතුක සිත් යනුවෙන් හැඳින්වේ.

යම් සිතෙක එම හේතු 06 අතරින් කිසිවක් නො යෙදේ නම් ඊට අහේතුක සිත් යනුවෙන් හැඳින්වේ. එහි අර්ථය වන්නේ හේතුවක් නො මැතිව, කාරණයක් නො මැතිව උපදනා සිත් ය කියා උපදිනා සිත්වලට නොවේ. හේතු නාමයෙන් වදාළ හේතු සය අතරින් කිසිවක් නො යෙදෙන සිත් අහේතුක සිත් වේ. මීට කලින් ඉගෙන ගත් අකුසල් සිත් 12 ම සහේතුක සිත්වලට ඇතුළත් වේ. එම අකුසල් සිත් 12 න් 08 ක් ලෝභ මූල සිත් ය. එම ලෝභ මූල සිත්වල හේතු නාමයෙන් වදාරා තිබෙන ලෝභය හා මෝහය යන හේතු 02 යෙදේ. ඊළඟට ඉගෙන ගත් ද්වේශ මූල සිත් 02 ද්වේශ, මෝහ නම් වූ හේතු 02 සමඟ යෙදේ. ඉන් අනතුරු ව ඉගෙන ගත් මෝහ මූල සිත් 02 මෝහ නමැති හේතුව සමඟ පමණක් යෙදේ. එම නිසා ලෝභ, මෝහ නමැති හේතු දෙක සමඟ යෙදෙන ලෝභ මූල සිත් සහේතුක සිත් වේ. ද්වේශ-මෝහ නමැති හේතු දෙක සමඟ යෙදෙන ද්වේශ මූල සිත් සහේතුක වේ. මෝහය නමැතු හේතුව සමඟ යෙදෙන මෝහ මූල සිත් දෙක සහේතුක වේ.
මුලින් ම ඉගෙන ගත් සිත් 12 ඇතුළත් වන්නේ සහේතුක සිත් ගොඩට වේ. ඒවායේ හේතු නාමයෙන් වදාළ ධර්ම 03 ක් අතුරින් 02 ක් සමඟ යෙදෙන සිත් 10 ක් ඇත. ලෝභ මෝහ යන දෙක සමඟ 08 කුත්, ද්වේශ මෝහ යන සිත් දෙක සමඟ 02 කුත්, අවසන් වශයෙන් දැක්වෙන සිත් දෙකෙහි හේතූන් අතරින් යෙදෙන්නේ මෝහ නමැති හේතුව පමණි. එවිට එම සහේතුක සිත් සමූහයෙන් 12 කි. සහේතුක සිත් සියල්ල එකතු වූ විට 71 කි. මෙතෙක් ඉගෙන ගෙන ඇත්තේ එම 71 න් 12 ක් පමණයි. ඉතිරි සහේතුක සිත් පිළිබඳ ව ඉගෙන ගනු ලබන්නේ දැන් පෙන්වා දීමට යන්නා වූ අහේතුක සිත් ඉගෙනීමෙන් පසු ව ය. අහේතුක ය යනුවෙන් නම් කොට ඇත්තේ, ලෝභ, දෝෂ, මෝහ යන අකුසල හේතූන් 03 හෝ අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල හේතූන් ඇතැම් විට අව්යා කෘත හේතූන් යන මේ හේතූන් 03 සමඟ හෝ නො යෙදෙන සිත් ය යන තේරුම ය.

එවන් අහේතුක සිත් 18 ක් ඇත. ඒවා පිළිවෙළින් මෙසේ ය. අකුසල විපාක සිත් 07 කි. අහේතුක කුසල විපාක සිත් 08 ක් ද, අහේතුක ක්රි යා සිත් 03 ක් ද වශයෙනි.

අකුසල විපාක සිත් 07 ක් තිබේ. ඒ 07 ඇතුළත් වන්නේ අහේතුක සිත් 18 ට වුවත්, ඒවා නම් කරන විට අහේතුක අකුසල විපාක වශයෙන් කියනු නො ලැබේ. ඊට හේතුව සහේතුක අකුසල විපාක කියා කොටසක් නො මැති බැවිනි. භේදයක් දැක්විය යුත්තේ යම් කිසි භේදයක් තිබේ නම් පමණි. මෙහි එසේ භේදයක් නො මැත. අකුසල විපාක වෙතොත් ඒවා කිසිදු හේතුවක් සමඟ නො යෙදෙන සිත් ම මිස හේතූන් සමඟ යෙදෙන සිත් වන්නේ නැත. එබැවින්, එම අහේතුක සිත් 18 ට ඇතුළත් වන අකුසල විපාක සිත් 07 නම් කරන විට දක්වන්නේ අකුසල විපාක යනුවෙන් ම ය. අහේතුක අකුසල විපාක යනුවෙන් නො කියැ වේ.

අකුසල් විපාක සිත් 07 ක් වන්නේ, කලින් කොටස්වල දැක්වූ අකුසල් සිත් 12 විපාක වශයෙන් සිත් වශයෙන් 07 ක් බව ය. ඒවා නම් කොට ඇත්තේ,

උපේක්ෂා සහගත චක්ඛු විඤ්ඤාණය
උපේක්ෂා සහගත සෝත විඤ්ඤාණය
උපේක්ෂා සහගත ඝාණ විඤ්ඤාණය
උපේක්ෂා සහගත ජිව්හා විඤ්ඤාණය
දුක්ඛ සහගත කාය විඤ්ඤාණය
උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත
උපේක්ෂා සහගත සන්තීරණ සිත
වශයෙනි.

0 අදහස්:

Post a Comment

සොයන්න

වෙනත් වෙබ් අඩවි